Saturday, February 14, 2009

warriors and pariahs

රණ විරුවන් සහ නීචයින්...

මෙම වීඩියෝ නරඹන්න...










රණ විරුවන් ගැන නිතර දෙවේලේ ගැයෙන මොහොතක පොලීසියේ මේ හැසිරීම දනවන්නේ කවරාකාර හැඟීමක්ද? ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට උපහාරය පළකරමින් සරසවි සිසුන් විසින් ප්‍රදර්ශනය කර තිබූ බැනරයක් ඉදිරියේදීම පොලීසිය විසින් ඔවුනට උපහාර දැක්වූයේ මෙසේය. පොලීසිය සිය හිතූමනාපේ සරසවි සිසුන්ට පහර දුන්නායැයි සිතීම සාධාරණද? නැත පොලීසිය යනු ධනේෂ්වර රාජ්‍ය යාන්ත්‍රණයේ තවත් එක් සන්නද්ධ ආයතනයක් පමණකි. ඔවුන් ඉටුකරන්නේ පාලක පංතියේ උවමනාවන්ය. තමන්ට එරෙහිව මතුවිය හැකි ප්‍රවණතාවයන් පරාජය කිරීම සඳහා ධනපති පංති පාලනයන් පළමුවෙන්ම කැඳවන්නේ සිය නිල හමුදාවන්ය.

විශ්වවිද්‍යාලය තුළ මේ මොහොතේ සිදුවූ සිසු ගැටුම ධනපති පංති පාලනයට අභියෝග කරන්නක් ලෙස මින් නොකිය වේ. එහෙත් ධනපති පංති පාලනයේ දුර්වලතාවයන්ට එරෙහිව සරසවි සිසුන් පළමුව වීදී බැසීම සිදු විය හැක්කකි...

කෙසේ වුවද මේ සිදුවීම අපට සිහිපත් කරනුයේ විරුවන් නීචයින් බවට පත්වීමට ඉතා සුළු මොහොතක් වුව ප්‍රමාණවත් වන බවය.

යුද ජයග්‍රහණ බොහෝවිට ආඥා දායකයන් බිහිකරයි. ඉතිහාසය බොහෝ උදාහරණ දෙමින් එය සනාථ කර තිබේ. ජනතාවනි.., සූදානම් වන්න..!

Tuesday, February 3, 2009

මැතිවරණ වසන්තය... - සිනමා විචාරය

මැතිවරණ වසන්තය... - සිනමා විචාරය
නැවත මැතිවරණ සමයක් එළඹී තිබේ... පොරොන්දු තොග සහ සිල්ලරට බෙදා දීමේ සුපුරුදු මැතිවරණ ක්‍රීඩාව අවසන් නොවූ නමුදු ප්‍රධාන සටන් පාඨ යුද්ධය කේන්ද්‍රගත කරමින් දක්ෂිණාවර්තව එකම තැන භ්‍රමණය වෙමින් පවතී. යුද්ධයේ අවසානය අත ළඟම බව පැවසුනද ඒ අවසානයේ අවසානයක් තවමත් දැකිය නොහැකිය. එමෙන්ම යුද්ධය අවසන් කරන බවක් ආණ්ඩුව පුන පුනා පැවසූවද ලංකාවේ ජාතික ගැටළුව අවසන් කරන ආකාරය පිළිබඳ නැගෙන ප්‍රකාශනයන් තවමත් අපැහැදිලිය. අවිනිෂ්චිතය.
සුපුරුදු ලෙසම ලාංකේය ධනවාදය සිය අර්බුදය මෝරා නැගෙද්දී එය වසන් කරමින් ආකර්ෂණීය පැලැස්තරයක් ඇලවීමට සමත් වී තිබේ. දේශප්‍රේමය අන් සියලු දේ මෙන්ම ධනේෂ්වර සටන් පාඨයක් ලෙස යළි යළිත් තහවුරු කරගැනීමට ඔවුන් සමත් වී තිබේ. මේ මොහොතේ යුද්ධයෙන් දිනන්නේ හමුදාව හෝ එල්ටීටීඊය නොවන බව දකින්නෝ කවුරුන්ද? මේ සංග්‍රාම ජයග්‍රහණයන් තිරය මත දිගහැරෙද්දී තිරයෙන් මෙපිට සිදුවන්නේ කුමක්ද?
ඔබේද, මගේ ද දෑස් ඉදිරිපිට ලොමු දැහැගැන්වෙන සටනින්ද, මනස්කාන්ත ප්‍රේම ජවනිකාවන්ගෙන්ද යුත් කදිම සළරුවක් දිගහැරෙමින් පවතී. දුෂ්ටයාගේ දුෂ්ටත්වය මොහොතින් මොහොත හුවා දක්වන අතර වීරයා තව තවත් පුම්බමින් හුලං ගසනා කවටයන්ගෙන්ද මේ සිනමා කෘතිය පොහොසත්ය. එය කෙතරම් ද යත්, මෙම සළරුව විටෙක කොමඩියක් බවට පත්වේදෝයි සාධාරන සැකයක් ප්‍රේක්ෂක සිත් තුළ නැගේනම් එය අරුමයක් නොවේ. එහෙත් ඔබේ දෑස් දැන් කළුවරට හුරුවී තිබේනම් දැන් හාත්පස විමසා බලන්න.
යුද්ධය අවසන් වුවද, යුද්ධයෙන් පරාජය කළ බෙදුම්වාදය එහි පැරණි අනුග්‍රාහකයන්ගේ පමණක් නොව නව අනුග්‍රාහකයන්ගේ ද ආශීර්වාදයෙන් අභිෂේක ලබයි. ඔබ ඉදිරිපිට පුළුල් තිරයේ දිගහැරෙන දසුනට හාත්පසින්ම එරෙහි ජවනිකාවක් ඉන් පිටත රඟදැක්වේ. සිය නෙත් හරියේ තිරය පමණක් ම දකින ගැල‍රියේ නරඹන්නන්ගේ විසිල් නාදයද අත්පොලසන් හඬද දුෂ්ටයාගේ අරමුණු උදෙසා යෙදවෙන බව ඔවුන් නොදන්නා බව පැහැදිලිය. මන්ද ඔවුන් ඉදිරි පෙළ සිටියද නෙත ගැටෙන්නේ දේදුනු වර්ණ තිර රටා පමණක්ම බැවිනි.
විමසිලිමත් වන්න... ඔබ නොදැනීම ගැලරියේ අසුන්ගැන්වූවා වන්නට පුළුවන...

Red Aurora


අවුරෝරා...
ඉතිහාසය විසින් ශ්‍රේෂ්ඨත්වයට නැංවූ ඒ නම භාවිතා කිරීමට අපි තීරණය කළෙමු...
1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ඇරඹුම් සංඥාව නිකුත් වූයේ අවුරෝරාවෙනි. රුසියානු අධිරාජ්‍යයේ හා ධනපතීන්ගේ හිම මාලිඟා බිඳ හෙළන්නට, සැබෑ වෙනසක් අරඹන්නට, සමානාත්මතාවය රජයන යහපත් ලෝකයක් වෙනුවෙන් අවුරෝරා නාවිකයන්ගේ සංඥා වෙඩිමුරය තවමත් අපේ දෙසවන්හි දෝංකාරය නංවයි. වේදනාවෙන්, දරිද්‍රතාවයෙන්, පාගාදැමීමෙන් පීඩා විඳින සුවහසක් මිනිසුන් සහ ගැහැණුන් වෙනුවෙන් සටන්වදින්නට අපේ හදවත් පණ පොවනුයේ එයයි.
සොයුර, සොයුරිය,
මේ කනට කොඳුරා මුමුණන්ට කාලයක් නොවේ... අළුත් ලෝකයක් අපට ඇවැසි බව හ`ඩ නඟා පවසන්නට කාලයයි. අසාධාරණය හමුවේ බියෙන් සළිතව මුළු ගැහෙන්නට කාලයක් නොවේ... හදේ නැගෙනා ගිනි පුපුරු ගෙන දෙපා මත සිටගන්න කාලයයි...
අපට අවුරෝරාවක් ඇවැසි වන්නේ ඒ නිසාවෙනි.
අපි එය දියත් කළෙමු. තවම අපි සවිමත් නොවෙමු. එහෙත් හෙට අරුණෝදය වනවිට ඔබද අප සමඟ හිරු පායන අයුරු බලන්නට නැගෙනහිර ඇණිය වෙත එන බව අපි විශ්වාස කරමු.
ඉතිහාසයට අවනත වී අනාගතය වෙනස්කරමු...